බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම
දැනට සොයා ගෙන ඇති පුරා විද්‍යාත්මක සාධක අනුව පැරණිතම මිනිසා එනම් බලංගොඩ මානවයාගේ පාෂාණභූත ඇටසැකිලි සොයා ගෙන ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ බටදොඹ ලෙන හා බෙල්ලන්බැඳි පැලැස්ස වැනි ස්ථානවලිනි. ශ‍්‍රී ලංකාවේ මිනිසා පරිනාමය වූ ආකාරය පිළිබඳව කරුණු අදින් වසර ලක්ෂයකට පමණ පෙර අතීතයේ සිට සිදු වූ බවට බොහෝ සාක්ෂි රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමු වී ඇත. ලංකාවේ සිටි පැරණි මානව වර්ග ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳ තොරතුරු සොයා බැලූ පී. ඊ. පී. දැරණියගල මහතා සහ තවත් බොහෝ පුරා විද්‍යාඥයින් පවසන පරිදි එකල ලංකාවේ මානව වර්ග දෙකක් සිටියහ.
එයින් හෝමෝ සේපියන්ස් බලංගොඩෙන්සිස් (HOMO SAPIENS BALANGODENSIS) බලංගොඩ සංස්කෘතික අවධිය සහ රත්නපුර සංස්කෘතික අවධිය ලෙස සංස්කෘතික අවධි දෙකකට වෙන් කිරීමක් සිදුකර ඇත. එම මානව වර්ගය පොදුවේ හඳුන්වන්නේ බලංගොඩ මානවයා ලෙසයි. බලංගොඩ ආසන්නයේ ඇති බෙල්ලන් බැඳි පැලැස්ස ගල්ලෙනෙන් හමු වූ අවුරුදු 16,000 ක් පමණ පැරණි මානවයකුගේ අස්ථි අනුව මෙම මානවයා ගැන තොරතුරු සොයා ගැනීමට හැකි විය.
මහාචාර්ය ශිරාන් දැරණියගල බලංගොඩ යන ගම්නාමය සැලකීමේ දී එකල සිරිපා කරුණා කිරීමට හා නොයෙකුත් වෙළඳාම් කටයුතුවලට පැමිණෙන ජනතාව කුඩා කඳු මුදුන් ප්‍රදේශයකට පැමිණ ඈත පෙදෙස බලා ගමන් මග නිශ්චය කර ගත් බවත් එම කාරණය මත “බලන් එගොඩ” ප්‍රදේශය වර්තමානයේ දී “බලංගොඩ” නමින් ප්‍රසිද්ධ වී ඇත.
මහනුවර යුගය වන විට රත්නපුර දිස්ත්‍රික්කය ප්‍රධාන කෝරළ හයකට බෙදා ඇත. ඒවා නම් කුරුවිට, නවනදුන්, අටකලන්, කුකුළු, කඩවත්මැද හා කොළොන්න කෝරලය වේ. මෙයින් කඩවත්මැද (කඩවත) කෝරලය හා අටකලන් (ඇටවක්වල) කෝරලය බලංගොඩ ආශ්‍රිතව විහිදී ඇත.
අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර ගණයට වැටෙන අක්ෂරවලින් යුතු සෙල්ලිපි බෙලිගල රජ මහා විහාරස්ථානය දැක ගත හැකිය.
ලංකාවේ පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණය සැලකීමේදී ඉතා පුරාණ කාලයක සිට අපේ මුතුන්මිත්තෝ යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය හොඳින් දැන සිටියහ. ලංකාවේ යකඩ නිස්සාරණය කිරීමේ පැරණි තාක්ෂණය කෙබඳු දැයි වටහා ගැනීමට ඉවහල් වන ප්‍රධාන අවස්ථා දෙකක් තිබේ. එයින් පළමුවැන්න සබරගමු පළාතට අයත් බලංගොඩ සමනළ වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උඳුන් ය. එය ඒ කාලයේ යකඩ උණු කළ බව පෙන්වන සාක්ෂියකි. දෙවැන්න මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොළ වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් ය.
ස්වභාවික පරිසරයේ පවතින යකඩ බහුල ගල්වලින් යකඩ ලෝහය වෙන් කර ගැනීමට නම් ඒවා අධික උෂ්ණත්වයට රත් කල යුතුය. යකඩ උණුවන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1538 දීය. මෙලෙස අධික උෂ්ණත්වයක් ලබා ගැනීමට නම් ඉතාම කාර්යක්ෂම තාක්ෂණයක් තිබීම අවශ්‍ය ය. සමනල වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ. තෙවන සියවසේ දීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිතා කර ඇත්තේ ස්වභාවික සුළං බලයයි. කඳු මුහුණතක ඉදි කර තිබෙන මෙම උදුන් කදු අතරින් ගලා එන සුළං මඟින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වේ.
අදටත් වසරේ මෝසම් සුළං කාලයට සවස් යාමයේ එම ප්‍රදේශය හරහා හමන සුළං පසු දා පහන් වන තුරු අඛණ්ඩව හමා යයි. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කල උදුන්වලට දමා ඒ මත අඟුරු ද එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ ඉවත් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිතා කර තිබෙන්නේ ලිමොනයිට් හා හෙමටයිට් යන රසායන විද්‍යාත්මකව හදුන්වන ගල් වර්ගයි.
මෙම උදුන් දැල්වීම සදහා යොදාගෙන තිබෙන්නේ 'මරං' නමින් හැදින්වෙන ගස් පුලුස්සා ලබා ගන්නා අඟුරුය. අදත් ඒ පළාතේ මෙම ගස් වැවී තිබේ. මෙම ගස් වර්ග හැදින්වීමට 'යකඩමරං' යන වචනයද භාවිතා කෙරේ.